Get Mystery Box with random crypto!

අභිධර්මය ඉගෙන ගනිමු (Ep 4) සිත බෙදෙන හැටි චිත්තය -චෛතසිකය- | ☸THERAVADA☸

අභිධර්මය ඉගෙන ගනිමු (Ep 4)


සිත බෙදෙන හැටි

චිත්තය -චෛතසිකය- රූපය- නිර්වාණය කියා පරමාර්ථ ධර්ම සතරක් ඇති බව ඉහත කියන ලදි

ඒ සතරින් පළමු කොට උගත යුත්තේ සිත ගැනය. සිත සාමාන්‍යයෙන් එකකි. එහෙත් එය එකක් වශයෙන් ගෙන අභිධර්මය නූගැන්විය හැකිය. සිතේ සැටි උගැන්විය හැකි වනු පිණිස මේ ධර්මයෙහි එක් ක්‍රමයකින් එය (89) අසූනවයකට ද, තවත් ක්‍රමයකින් (121) එකසීය විසි එකකට බෙදා තිබේ. සිත බෙදෙන්නෙ භූමි ජාති යනාදින් ගෙනි.

කාමාවචරාදි සිත් සතර කොටස

සමාන්‍යයෙන් එකක් වු "කාමාවචර" සිතය "රූපාවචර" සිතය, "අරූපාවචර" සිතය, "ලෝකෝත්තර" සිතය කියා භූමින් ගෙන් වශයෙන් සතර කට බෙදනු ලැබේ.

අපාය සතරය, මිනිස් ලොව ය, දිව්‍ය ලෝක සයය යන මේ එකළෝසට කාම භූමි යයි කිය නු ලැබේ. ඒ එකළොස් වැදෑරුම් කාම භූමියෙහි බොහෝ සෙයින් ඉපදිම නිසා කාම භූමියට අයත්වන සිත කාමාවචර නම් වේ.

පසළොස් වැදෑරුම් රූප භූමියෙහි බොහෝ සෙයින් ඉපදි ම නිසා රූප භූමියට අයත් සිත රූපාවචර නම් වේ.

අරූප භූමි සතරෙහි බොහෝ සෙයින් ඉපදිම නිසා අරූප භූමියට අයත් සිත අරූපාවචර නම් වේ.


ලෝකෝත්තර භූමියක් ගැන කියතත් ලෝකෝත්තර භූමි යයි කියා තැනක් නැත. මේ චිත්ත විභාගයේ දි ලෝකෝත්තර ධර්මයන්ට ම ලෝකෝත්තර භූමිය යි කියනු ලැබේ. කියන ලද භූමි තුනට අයත් නැති ලෝකෝත්තර භූමියට අයත් සිත ලෝකෝත්තර නම් වේ.

ඇතැම් කාමාවචර සිත් රූපාරූප භූමීන්හි ද ඇති වේ.එසේම ඇතැම් රූපාවචර සිත් කාමාවචර භූමියෙහි ද ඇති වේ.මේ සිත්වලට කාමාවචරාදි නම් දී තිබෙන්නේ බොහෝ සෙයින් ඒ ඒ භූමිවල ඇතිවිම සලකාගෙනය. කාමාවචර සිතක් රූපාරූප භූමිවල ඇති වන කල්හි ද එයට කාමාවචර යන නාමය ම කියනු ලැබේ. රූපාවචර අරූපාවචර සිත් කාම භූමියෙහි ඇති වන කල්හි ද ඒවාට රූපාවචර අරූපාවචර යන නම් කියනු ලැබේ. ලෝකෝත්තර සිත් ඇති වන්නේ ද කාම රූප අරූප යන භූමි තුනෙහි ම ය . එහෙත් ඒ සිත් ඒ භූමිවලට අයත් නො වන බැවින් ඒවාට ලෝකෝත්තර යන නාමය ම ව්‍යවහාර කරනු ලැබේ.


️කාමාවචර සිත යන්නෙහි තේරුම, බොහෝ සෙයින් කාම ලෝකයෙහි උපදනා සිතය යනුයි.

රූපාවචර සිත යන්නෙහි තේරුම,බොහෝ සෙයින් රූප ලෝකයෙහි උපදනා සිතය යනුයි


අරූපාවචර සිත යන්නෙහි තෙරුම, බොහෝ සෙයින් අරූප ලෝකයෙහි උපදනා සිතය යනුයි


ලෝකෝත්තර සිත යන්නෙහි තෙරුම,ලෝකය ඉක්මවන්නා වු ද, ලෝකය ඉක්ම සිටියා වු ද සිතය ය නුයි.


කාමාවචචරාදි සිත් තවත් ක්‍රමවලින් බෙදෙනු ලැබේ. බෙදෙන ක්‍රම ඒ ඒ තැන්වල දි දැන ගත හැකි වනු ඇත. එසේ බෙදු කල්හි කාමාවචර සිත් (54) සිව්පනසක් වේ. රූපාවචර සිත් (15) පසළොසෙක් වේ. අරූපාවචර සිත් (12) දොළොසෙක් වේ. ලෝකොත්තර සිත් කෙටි ක්‍රමයෙන් (08) අටක් ද ,විස්තරා ක්‍රමයෙන් (40) සතළිසක්ද වේ. සියල්ල එකතු කළ කල්හි කෙටි ක්‍රමයෙන් (89) අසූනවයක් වේ. විස්තරා ක්‍රමයෙන් (121) එකසිය විසි එකක් වේ.



රේරුකානේ චන්දවිමල මහනාහිමි- අභිධර්ම මාර්ගය